මාධ්‍යවේදීන් දෙදෙනකු  ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව  වෙත කැඳවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ට ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු වලට ප්‍රවේශවීමට අවකාශයක් නොමැති විමත්, එවැනි තොරතුරු ලබා ගැනීමට මෙතෙක් පහසුකම් සැලසු පොලිස් මාධ්‍ය ඒකකය වසා දැමිම කෙරෙහිත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය කණස්සල්ල පළ කරයි.

අප වෙත වාර්තා වු ආකාරයට ඊයේ දිනයේ ‘ද ලිඩර්’  වෙබ් අඩවියේ සේවය කරන මාධ්‍යවේදි ධනුෂ්ක සංජය සහ ‘වොයිස් ටියුබ්’ වෙබ් අඩවියේ මාධ්‍යවේදීනියක් වන තුෂාරා විතාරණ ගෙන් ප්‍රශ්න කිරීම පිණිස පොලිසිය වෙත කැඳවා තිබුනි. ඒ අතරම මෙම සිදුවීම්  වලට සමගාමීව පොලිස් මාධ්‍ය ඒකකයද නිසි පැහැදිලි කිරීමකින් සහ විකල්ප ඒකකයක් හඳුන්වා දීමකින් තොරව වසා දමා තිබේ. යම්කිසි පැමිණිල්ලක් විමර්ශනය කිරීම පිණිස ශ්‍රී ලංකා පොලිසියට සහ ආරක්ෂක අංශ වලට තිබෙන වගකීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට අවබෝධයක් තිබේ.  ශ්‍රී ලංකා පොලිසියෙන් මෙම සිදුවීම් පමණක් නොව ඉදිරියේ දි සිදුවිය හැකි මීට සමාන වෙනත් සිදුවීම ද ගැන වැඩිමනත් තොරතුරු වලට ප්‍රවේශවීමට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට මෙන්ම මෙරට පුරවැසියන්ට ද තිබෙන අයිතිය අවහිර වි ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. 

මෙම තත්ත්වය මෙරට බලධාරීන් විසින් ප්‍රවර්ධනය බැඳී සිටින ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන සංස්කෘතියට අනුචිත බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.  

ඉතාමත් කඩිනමින් ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ මහජන සාමය සම්බන්ධයෙන් විවෘතභාවය පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කර, එකී  ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්  මහජන තොරතුරු වලට ප්‍රවේශවීමට ඇති අයිතිය නැවතත් විධිමත්ව ස්ථාපිත කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු වගකිව යුත්තන් ගෙන් දැඩිව ඉල්ලා සිටී.