නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේදී මාර්තු 20 වැනිදා පැවැති ගම සමඟ පිළිසඳර වැඩ සටහනට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනමාධ්‍ය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ සහ  මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල අනතුරක සේයාවක් මතු කරන බව ප්‍රකාශ කරන මාධ්‍ය සංවිධාන එකතුව ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කරයි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ඇතැම් මාධ්‍ය කරුණු විකෘති කරන බවත්, මාධ්‍ය නිදහස යනු මාධ්‍ය හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්ය.”ඒක මාෆියාවක්, අපේ රටේ රජවරු නැහැ, මහරාජලත් නැහැ. මහාරාජල හිටියෙ ඉන්දියාවේ. අයිතිකාරයාට ඕන විදිහට රට දුවන්න බෑ. පාලකයෝ පාලනය කරන්න හදනව. ඒව මාත් එක්ක බෑ. මම දන්නව පාඩම් උගන්වන්න ඕන නම් උගන්වන්න. මම මාධ්‍ය නිදහස දීල තියෙනවා. කිසිම මාධ්‍යකට බලපෑම් කරල නෑ. වැරදි විදිහට පාවිච්චි කරන්න ආවොත් ඒවට නීති තියෙනව. ඒ මාධ්‍ය විතරක් නෙවෙයි, සමහර ජාතික චින්තනයේ මාධ්‍යයත් බොරු ප්‍රවෘත්ති දාල තියෙනව. යුද්ධ කාලෙ අපට විරැද්ධව වැඩ කළ අයත් ඒවයෙ ඉන්නව. ආපහු නැගිටලා” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය නිදහස යනු මාධ්‍යය හිමිකරුවන්ගේ නිදහස නොවන බවටත් කරුණු විකෘති කර වාර්තා කිරීම වැරදි බවටත් ජනාධිපතිවරයා දරන අදහස සමග අපට ගැටලුවක් නොමැත. එහෙත් මේ ප්‍රකාශය හරහා කිසියම්  මාධ්‍යයක් ඉලක්ක කරගෙන ඇති බවත්,  විශේෂයෙන් ආණ්ඩුවට එරෙහිව විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කරන මාධ්‍ය බියගැන්වීමකට ලක්කරන බවත් මාධ්‍ය සංවිධාන එකතුවේ විශ්වාසයයි.

විශේෂයෙන්, ” ඒව මාත් එක්ක බෑ, මම දන්නව පාඩම් උගන්නන්න. යුද්ධ කාලයෙ අපට විරුද්ධව වැඩ කළ අය ඒවයෙ ඉන්නව, ආපහු නැගිටල” යනුවෙන් වන කොටස පසුගිය කාලසීමාවන්හිදී  ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවූ,  තවමත් නොවිසදුණු අපරාධ සිහිගන්වන බවද කණගාටුවෙන් යුතුව සඳහන් කළ යුතුවේ.

මෙම තත්ත්වය, මාධ්‍යවේදීන්, මාධ්‍ය හිමිකරුවන් ඇතුලු අදාළ සියලු පාර්ශව බියගැන්වීමක් මෙන්ම ඒ හරහා මාධ්‍ය නිදහස අදහස සහ ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමක් සිදු කෙරේ. එබැවින් මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබද ගැටලු මතුකරවන මෙවැනි ප්‍රවේශයන්ගෙන් වැළකී, ඒ සදහා  ස්වාධීන, නිදහස් පරිසරයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය යන මාධ්‍ය සංවිධාන එකතුව විසින් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත්,  සෙසු සියලු පාර්ශව වෙතටත් බලකර සිටී.

ධර්මසිරි ලංකාපේලි,

ලේකම්,

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

 

 

 

සිිතා රංජනී,

කැඳවුම්කරු,

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

 

දුමින්ද සම්පත්,

සභාපති,

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

 

 
එන්.එම්.අමීන්,

සභාපති,

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය

 

 
කනපතිපිල්ලේ සර්වානන්ද

ලේකම්

දෙමළ මාධ්‍ය සංසදය

 

 
හර්ෂණ තුෂාර සිල්වා,

ලේකම්,

තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය.