මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු නම් කැළෑබද ප්‍රදේශයේ සිදු වී ඇතැයි කියන දැව ජාවාරමක් සම්බන්ධ තොරතුරු සෙවීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම්කරුවකු ඇතුලු පිරිසක් විසින් බරපතල පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වන අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකී. වීරකේසරී පුවත්පතට සහ තවත් මාධ්‍ය කිහිපයකට වාර්තා සපයන කණපතිපිල්ලේ කුමනන් සහ හිරු රූපවාහිනී වාර්තාකරු  ෂන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනා ඔක්තොබර් මස 12 වැනිදා සවස මෙසේ ප්‍රහාරයට ලක්වී ඇත. මාධ්‍යවේදී තවසීලන්ගේ දත් දෙකක් කැඩී ඇති බවත්, මාධ්‍යවේදී කුමනන්ගේ නාසය තුවාල වී ඇති බවත් වාර්තා වේ.

මාධ්‍යවේදීන් දෙදෙනා විසින් මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසියේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණිලි කර ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන් මුලතිව් මූලික රෝහලේ පස්වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත.

පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වන පසුබිමක ඒවාට ඒරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඒවා වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට දරුණු ප්‍රහාරවලට ලක්වීමට සිදු වීම ඛේදනීය තත්ත්වයකි. මොණරාගල, කුඹුක්කන් ඔය පාලම අසල අනවසර වැලි ගොඩදැමීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ඉඳුනිල් විජේනායක ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වූයේ ඔක්තෝබර් 3 වැනිදාය. මෙවැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ නොදී මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමටනම් තරාතිරිම නොතකා, අදාල පුද්ගලයන්ට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.