මියන්මාරයේ ප්‍රජතාන්ත්‍රවාදි ආණ්ඩුව පෙරළා දමා හමුදාව විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම එරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල අභියෝගයක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනතාවට තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලවත් කනස්සල්ල පළ කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අන්දමට පෙබරවාරි 01 දින පසුගිය  මහා මැතිවරණයෙන් බලයට පත් වු නැෂනල් ලීග් ෆෝ ඩිමෝක්‍රසී ආණ්ඩුව බලයෙන්  පහ කොට, මියන්මාර් යුද්ධ හමුදාව විසින්  ජනාධිපති වින් මයන්ට් සහ අගමැති අවු සං සුකී අත් අඩංගුවට ගෙන ඇත. පසුදින දිවුරුම් දීමට සුදානම්ව සිටි මියන්මාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 400 පමණ ඔවුන් රුස්ව සිටි රජයේ නිවාස සංකිර්ණ තුළම නිවාස අඩස්සියට පත් කොට ඇත.

යුද්ධ හමුදාව බලය අල්ලා ගෙන සුළු වේලාවකින් සියලුම දුරකථන සැපයුම් ජාලාවන්, අන්තර්ජාල පහසුකම්, විද්‍යුත් මාධ්‍යයන් ඇතුළු සංන්නිවේදනය පද්ධතීන් අක්‍රිය කෙරිණ.රජයේ නිවාස සංකිර්ණය තුළ පාර්ලිමේන්තුව රුස් කරන ලෙසට ප්‍රජාතන්ත්‍රවාදි මියන්මාර් පුරවැසියන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කළ උද්ඝෝෂණයට ප්‍රතිචාර වශයෙන් විධායක බලතල සහිත යුද්ධ හමුදාවේ ඉහළම නිලධාරින් බහුතරයකගෙන් සමන්විත සාමාජකයින් 11 දෙනෙකුගෙන් යුක්ත රාජ්‍ය පරිපාලන කවුන්සිලය නම් ඒකකයක් පිහිටුවන ලදි. මියන්මාර් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන් අඩපණ කිරීම පිණිස මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ද සම්පුර්ණයෙන්ම තහනමට ලක් කොට ඇත. හමුදා රජයට පක්ෂපාතී කණ්ඩායම් විසින් මාධ්‍යවේදීන්ට පහර දීම්ද වාර්තා වී ඇත.

මෙම යුද්ධ හමුදා ක්‍රියාමාර්ගය හා පශ්චාත් සිදුවිම් මාලාව නිසා සිදුවෙමින් පවතින්නේ, අධිකාරිවාදි ප්‍රවණතාවයන් විසින් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරමින් තිබූ අභියෝග තවදුරටත් තීව්‍ර කිරීමකි. මියන්මාර් ජනතාවට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවටද එරට සිදුවිම් පිළිබඳ තොරතුරු නිරවුල්ව දැන ගැනීමට තිබෙන සන්නිවේදන අවකාශය අහුරමින් ජනමාධ්‍ය වෙත බාධා පැමිණවීම සහ සමාජ මාධ්‍ය ජාලා වෙත වාරණයන් පැනවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය තුළ ගැටළු නිරාකරණය කර ගැනීමට තිබෙන පිළිවෙත් වෙනුවට අධිකාරිවාදි පිළිවෙත් ක්‍රියාත්මක කිරීම ශිෂ්ට සම්පන්න ලෝකය කිසිසේත් අනුමත නොකරයි. මෙම තීරණාත්මක අවස්ථාවේදී  මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ වන විටත් තම කැපවීම පළ කර ඇති රටවල් හා ජාත්‍යන්තර ප්‍රජාව වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම කෘතවේදිත්වය පළ කරන්නට මෙය අවස්ථාවක් කර ගනී. එමෙන්ම මියන්මාර් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අරගලය සාර්ථක කර ගැනීම සඳහාත්, එරට මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහාත් ඉතා ශක්තිමත්ව තම සහයෝගය පළ කරන ලෙස  ශ්‍රී  ලංකා රජය සහ ජනතාවගෙන්ද,  ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි අනෙකුත් ලෝක ප්‍රජාවගෙන් මෙන්ම  සියලු ජාත්‍යන්තර සංවිධානවලින්ද නිදහස්  මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.