ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන්  මාධ්‍ය ආයතන පිහිටි පලස්තීනයේ ගාසා තීරයේ ගොඩනැගිල්ලක් මුලුමනින්ම විනාශ වී ඇති අතර මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක් වී ඇත. විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව මැයි 13 වෙනිදා එල්ල කළ ප්‍රහාරයෙන්, දේශීය මාධ්‍ය ආයතන මෙන්ම අල්ජසීරා, ඇසෝසියේටඩ් ප්‍රෙස් වැනි විදෙස් මාධ්‍ය ආයතන  ඇතුළු මාධ්‍ය ආයතන 15ක් පමණ පිහිටි Al – Shorouk කුළුණ මුලුමනින්ම විනාශ වී ඇත. මාධ්‍ය ආයතනවල උපකරණ විනාශ වී ඇත. මැයි 11 දින Al- Jawhara කුළුණ වෙත එල්ල  කරන ලද ප්‍රහාරයෙන් මාධ්‍ය ආයතන 13ක් පමණ විනාශයට පත් වී ඇත. මාධ්‍ය ආයතන පිහිටා ඇති බව දැන දැනම ලද මෙම ප්‍රහාර  මෙන්ම මාධ්‍ය නිදහසට හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල  කරමින් සිදු වන සියලු ක්‍රියාවන් ”ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකතුව” විසින් දැඩි සේ හෙළා දකී.

ජීනිවා සම්මුතියේ II වන සංධානයේ 13 වැනි වගන්තිය උල්ලංඝණය කරමින්, ඊශ්‍රෘයලය විසින් ගාසා තීරය වෙත දිගින් දිගටම එල්ල කරනු ලබන ෂෙල්වෙඩි හා රොකට් ප්‍රහාරයන් නිසා සිවිල් වැසියන් සමග කුඩා දරුවන් ද මියැදෙමින් හෝ තුවාල ලබමින් සිටිති. මාධ්‍ය ආයතන විනාශ කිරීම හරහා මෙම තොරතුරු ලෝකයට සන්නිවේදනය කිරීම සඳහා  මාධ්‍යවේදින්ට ඇති අනුලංඝණීය අයිතිය විනාශ කරනු ලබයි. මෙවැනි දැවැන්ත ප්‍රහාර නිසා ගාසා තීරයේ ක්‍රියාත්මක විදේශීය මාධ්‍ය ආයතනවල මෙන්ම දේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක් වී තිබේ. ඊශ්‍රායලයේ මාධ්‍යවේදීන්ට ද හිරිහැරයට ලක්වන්නට සිදු වී ඇති බව මාධ්‍ය වාර්තාවලින් පැහැදිලි වේ. විනාශයට හා තර්ජනයට ලක්වී ඇති විදෙස් මාධ්‍ය ආයතනවල ශ්‍රී ලංකා ශාඛාවල මාධ්‍යවේදීන් වෙත තම සහෝදරත්වය පිරිනමන ”මාධ්‍ය සංවිධාන එකතුව”, ඊශ්‍රායල, පලස්තීන ගැටුම් නිසා තර්ජනයන්ට සහ පීඩාවන්ට ලක්වී සිටින මාධ්‍යවේදීන්ගේ හා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කළ හැකි සියලු බලපෑම් කරන්නැයි ජාත්‍යන්තර මාධ්‍ය හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුලු සමස්ත ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

 

මාධ්‍ය සංවිධාන එකතුව