මාධ්‍යවේදී ඩබ්.ජි.රොෂාන් කුමාර මහතා පෙබරවාරි 4 දින අළුයම හයට පමණ කන්තලේ 87 වංගුවේ සිදුවු බස් රථ අනතුරක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදි සිය රාජකාරිය ඉටු කිරීමට නොදී කරන ලද අවහිර කිරීම් හා තර්ජනයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට කොළඔ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය කරන ලද පෞද්ගලික බස් රථයක් කන්තලේ 87 වංගුවේදි පාරෙන් ඉවතට පැන අනතුරට ලක්වි ඇත. එම සිද්ධිය වාර්තා කිරීමට පැමිණි  මාධ්‍යවේදී ඩබ්. ජි.රොෂාන් කුමාර මහතාට බස්රථයේ හිමිකාරිය වන ත්‍රිකුණාමල දේශපාලඥවරියකගේ පුත්‍රයා හා ඔහුගේ ආධාරකරුවන් විසින් තර්ජනය කරමින් සිද්ධිය වාර්තා කිරීම අවහිර කොට ඇත. අනතුර සිදුවු ස්ථානයට රාජකාරිය පිණිස පැමිණි සිටි කන්තලේ පොලිසියේ  නිලධාරියෙකු කැඳවා මෙම අනතුර වාර්තා කරනු ලැබුවහොත් ඔහුට අත්විය හැකි ඉරණමද ඉහත කී පුද්ගලයන් විසින් සිහිපත් කරන ආකාරය වාර්තා වි තිබේ.

මහජනතාවට සත්‍ය වාර්තා කිරීමේ වගකීමෙන් බැඳි සිටින වෘත්තිය මාධ්‍යවේදීන්ට අඩන්තතේට්ටම් කිරීම පමණක් නොව මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට බැදී සිටින පොලිස් නිලධාරින්ට පවා සිය රාජකාරිය ඉටු කිරීම ඉඩ නොදීම බරපතල තත්ත්වයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුල මාර්ගස්ථ ප්‍රවාහනය සම්බන්ධයෙන් සිදුවන නීති විරෝධි ක්‍රියාදාමයක් ද හෙළිදරව් කළ මෙම සිදුවිම වාර්තා කිරීම වැළැක්වීම එම නීති විරෝධි ක්‍රියාවන් මහජනයාට හෙළි දරව් වීම වැළැක්විමේ ප්‍රයත්නයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.

මාධ්‍යවේදීන්ට හිංසනයෙන් තොරව සිය රාජකාරිය කිරීමට  සුදුසු වතාවරණයක් පවත්වා ගැනීම  පොලිසියේ වගකීමක් වන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වහාම නීතිය ක්‍රියාත්මක කරන මෙන් සියලු බලධාරීන්ගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටි.

Image – NewsFirst