නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විවිධ ජනාධිපති අපේක්ෂකයින්ට සහයෝගය පළ කරන බවට මාධ්‍ය කිහිපයක  මෑතක පළවු සියලු ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර  බව එම සංවිධානය පවසයි.

එසේ පළවු  සියලු පුවත්  සාවද්‍ය හා නොමඟ යවන සුළුය. පළමු වැන්න වුයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතන බවට පුවතකි. එය   2019 ඔක්තෝබර් 22 දින ලංකාදීප පුවත්පතේ පළවී තිබූ අතර එම පුවත නිවැරදි කරන ලෙස ඉල්ලීමක්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින්  පුවත්පත් ආයතනයට යොමුකරන ලදී. එහෙත් එය අසත්‍ය පුවතක් ලෙස පිළිගෙන නිවැරදි කිරිමක් පළ කරනු වෙනුවට සාමාන්‍ය පුවතක් ලෙස ලංකාදීප පුවත්පතේ 2019 ඔක්තෝබර් 23 දා පළකර  තිබුණි. එහි, මුල් පුවතේ වූ සාවද්‍ය බව හෝ නොමග යවන සුළු බව හෝ පිළිබඳ  සඳහනක් නොවීම පිළිබඳ  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කනස්සල්ල පළ කරයි.

දෙවන පුවත “නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහාය සජිත්ට” යන නමින් ප්‍රධාන සිරස් තලයක් යොදා ඔක්තෝබර් 24 දින රැස පුවත්පතේ  පළ කොට තිබුනි. ඔක්තෝබර් 25 දින රැස පුවත්පත එම පුවත නිවරදි කොට තිබු නමුත් මුල් පුවතට දී තිබු ප්‍රමුඛත්වය ඊට ලබා දි නොතිබුණි.

විවිධ අපේක්ෂකයින්ට සහය දීම වෙනුවට මෙම ජනාධිපතිවරණයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ  ස්ථාවරය වන්නේ පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රිියාවලියක් සඳහා පෙනී සිටීම හා ඒ සඳහා බලපෑම් කිරීමයි. විශේෂයෙන් මෙම මැතිවරණ සමය තුළ රාජ්‍ය මාධ්‍ය මෙන්ම ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන ද ක්‍රියාත්මක වන අගතිගාමි ස්වභාවය හේතුවෙන් එබඳු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව වඩාත්  පැහැදිලිවේ.

මේ නිසා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙරට සමස්ත මාධ්‍ය කර්මාන්තයේම පවතින ව්‍යාධිමය තත්ත්වයෙන් එය මුදවා ගැනීම ඉලක්ක කර ක්‍රියාකාරි වීමට ගෙන ඇති මෙම  ස්ථාවරය  කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස සියලුම දේශපාලන පක්ෂ මෙන්ම පුරවැසියන් ගෙන් ද ඉල්ලා සිටි.