ශ්‍රී  ලංකාව පුරා විසිරි සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙවර ජනාධිපතිවරණය වාර්තා කිරීමේ දි  විවිධ දේශපාලන පක්ෂ සංවිධායකයින් හා අනුගාමිකයින් ගෙන් සිදුවන හිරිහැර හා ගැහට පිළිබඳව කරුණු  ‘ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ එකමුතුව’  විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට විශේෂයෙන්ම විවිධ දේශපාලන පක්ෂ විසින් ඇතැම් මාධ්‍ය වාර්තාකරුවන් ගෙන් ඔවුන් සේවය  කරන  මාධ්‍ය ආයතනය විමසමින්, සිය ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් වාර්තා කිරීම අවහිර කර ඇත. 

මැතිවරණයක් යනු හුදෙක් පුරවැසියන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමක් පමණක් නොවේ. දැනුවත් පුරවැසියන් වශයෙන් ඡන්දදායකයින්ට විවිධ අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ හා ඊට ආදාල සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම, දැනුවත් තීරණයක් ගැනීම පිණිස මහඟු උපකාරයක් වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළි ගැනීමයි. ඡන්දදායකයින්ට අවශ්‍ය තොරතුරු සමබරව සැපයිමේ විශාල වගකීමක් නිදහස් හා ස්වාධීන වෘත්තීය මාධ්‍යවේදීන්ට මෙන්ම සියලු මාධ්‍ය ආයතන වෙත ද පැවරෙන බව මෙහි දි අපි අවධාරණය කරමු.

මාධ්‍යවේදීන්  මැතිවරණ වාර්තාකරණය සම්බන්ධයෙන් වෘත්තීයමය වගකීමක් දරන අතර ඒ පිළිබඳ ආචාර ධර්ම වලින් බැඳි සිටිමින් මාධ්‍ය ආයතන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කොට ඇති මාධ්‍ය උපමාන පිළිපැදීමට වගවිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යලි  සිහිපත් කරයි.

මෙහිදි මාධ්‍ය ප්‍රජාව ගෙන් ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් හා අපක්ෂපාති ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතන වලට ද අනිසි බලපෑම් කිරීමේන් වලකින ලෙසත් සියලු බලධාරින් ගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටි.

මේ නිසා 2019 ජනාධිපතිවරණය ආවරණය කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට  හා මාධ්‍ය ආයතන වලට  සිය වෘත්තීමය වගකීම ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම මෙම මැතිවරණයට තරඟ කරන සියලුම දේශපාලන පක්ෂ වල හා ස්වාධීන අපේක්ෂකයින් ගේ වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපරය දැඩිව අවධාරණය කරයි. එසේ කිරීම පුරවැසියන්ට දැනුවත් තීරණයක් ගැනීම පිණිස දායක වන අතර එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපරය කියා සිටි..